Kadawara Yahana - ශාන්තිකර්ම හා මනෝ චිකිත්සනය 

ශාන්තිකර්ම හා මනෝ චිකිත්සනය 


හද්ද පිටිසර ගම්මානවල සිට කොළොම්පුරේ වැනි සෙයිලම දක්වා හැම තැනම තවමත් දකින්නට තියෙන සිරිතක් තමයි අසනීපයක් වුනාම ආරක්ෂාවක් දමන එක.මේ ආරක්ෂාවක් කියන්නේ කට්ටඩි ගුරුන්නාන්සේ කෙනෙකු ලවා නූලක් බන්දවා ගැනීමකුයි.ඊට වඩා ලොකු අපල උපද්‍රවයකට නම් යන්ත්‍රයක් බන්දවා ගැනීම කරනවා.නූලක් මතුරන හැම විටම වාගේ මල්බුලත් තට්ටුවක් හදල පොල් තෙල් පහනක් පත්තු කරල බුදුගුණ  කියනවා.දෙයියන්ට කන්නලව් කරනවා.මන්තර සාස්තරයත් මෙව්වට සම්බන්ද කරගෙන පැවත එනවා.

වැඩියෙන්ම පිටිසර ගම්මානවල අපේ ගම්මුන් ලෙඩක් දුකක් හැඳුනාම හිතන්නෙ බේත් හේත්වලට අමතරවශයෙන් මෙහෙම ආරක්ෂාවකුත් කරගන්න ඕනෑ කියලයි.සමහර විට ලොකු අසනීප හැදුනම බලියක් තොවිලයක් කරනව.බෝවෙන ලෙඩක් දුකක් හැදුනම ඒවා දෙයියන්ගෙ ලෙඩ කියල ගම්මුන් එක්වෙල යකදුරන් ගෙන්නා ගෙන ගම්මඩු දෙවොල් මඩු නටල ගම ආරක්ෂා කරනවා.ඔවුන් හැම තිස්සෙම හිතන්නේ තමන්ට වින කරන යක්ෂ භූත පෙරේත,ජාතියක් ඉන්නවයි කියලයි.ඒවාගේම දෙවි දේවතාවුන් වහන්සේලාට හරියට පුද සත්කාර නොකළොත් උන්වහන්සේලා කෝප වෙල ගමට රටට අපල උපද්‍රව,සාගත,වසංගත,ඇති කරනවා කියලත් කියනවා.එහෙම හිතල ආරක්ෂාවක් කරගත්තාම,නූලක් බන්දවා ගත්තාම,යන්ත්‍රයක් බඳගත්තාම,තොවිලයක් බලියක් ගම්මඩුවක්,දෙවොල් මඩුවක් කළාම ඒ සියල්ල දූරීභූත වෙලා තම තමන්ට ගමට ආරක්ෂාව  තියනවා කියලත් විශ්වාස කරනවා.කොහොම වුනත් මේ කියන දේවලින් හොඳක් මිස නරකක් සිදුවී නැති බව නම් පෙනෙන්ට තියෙන කාරණාවකි.ඒ වුනත් ගම්මුන්ගේ මේ තදබල විශ්වාස නිසා අහක තෙයෙන ලෙඩ දුක් අපල උපද්‍රව කොඩිවින හදි හූනියම් වලින් තමන්ගේ මනස පුරවගෙන ජීවිතයෙන් වැඩි කාලයක් සමහරුන් ලෙඩවී ගතකරනවා.

තම තමන්ගේ ජීවිත කෙරෙහි තම තමන්ගේ මානසික තත්ත්වය නොයෙක් විදියෙ බලපෑම් කරන බව අප දන්නා කාරණයක්.හැම දෙයකටම මුල් වන්නේ හිත කියන එක අද නොදන්නා කෙනෙකු නැති තරම්ය.මොන ක්‍රමයකට හරි හිත හදා ගැනීමෙන් ගැනීමෙන් නොයෙක් උපද්‍රව වලින් ගැලවෙන්න පුළුවන් බව අද පිළෛගන්න සිද්ධවෙලා තියෙනවා .බලි තොවිල් යන්ත්‍ර මන්ත්‍ර වලින් කෙරෙන්නේ මිනිස්සුන් ගේ හිත හැදීම කියලයි මම හිතන්නේ.ඒ නිසාම අපේ සමහර පන්ඩිතයන් වගේ මේවා බොරු මනස්ගාත නිස්සාර දේවල් කියල අහක දමන්න බැහැ.හැම දෙයකටම මේ "හිත" එහෙම නැත්නම්"මනස" බල පානවනම් "මනස" හොඳ කරන්න බලි තොවිල් ආදී ශාන්ති කර්ම කිරීමේ වැරැද්දක් මට නම් පෙනෙන්නේ නෑ.

ඒ කෙසේවෙතත්  මනෝ විද්‍යාත්මක වැදගත්කම මොකක්ද ශාන්තිකර්ම හා දේව සංකල්ප  හා මනෝවිද්‍යාත්මක බලපෑම කෙසේද  යන්න විද්‍යාත්මක ඇසුරෙන්  සක්ච්ඡාකිරීමට මේ ලිපිපෙල තුලින් බලාපොරොත්තු වෙනවා.